ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවය කළුතරදී

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවය කළුතරදී

July 9, 2026   10:07 pm

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ 2026 උපසම්පදා රාජ්‍ය මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් කළුතර බෝධිය අභියසදී අද (09) පස්වරුවේ පැවැත්විණි.

මෙම මහෝත්සවය අද සිට ජූලි 22 වැනිදා දක්වා කළු ගඟේ ස්ථාපිත උදකුක්ඛේප සීමා මාලකයේදී පැවැත්වේ.

ඒ සඳහා සාමණේර හිමිවරු 400කට අධික පිරිසක් සහභාගි වීමට නියමිතය.

වසර තුනකට වරක් පැවැත්වීමට නියමිත මෙම රාජ්‍ය උපසම්පදා විනය කර්මය මෙවර පැවැත්වෙන්නේ වසර 9කට පසුව වීම විශේෂත්වයකි. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය ජනවාරි  01වනදා ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහනායක හිමිපාණන් වහන්සේ බැහැදැක නව වසරට ආශීර්වාද ලබා ගැනීමට ගිය අවස්ථාවේදී උන්වහන්සේ කළ ඉල්ලීමකට අනුව මෙම උපසම්පදා මහෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු කෙරිණි.

'අමරපුර ශාස්ත්‍රීය සංග්‍රහයද' මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.